Friday, February 2, 2018

දෑත් සුන්දරව තබා ගනිමු.........


කෙනෙකුව පළමු වර හමුවීමේදී අතට අත දෙන්නත්, ඔබේ ආදරය, කරුණාව පෑමේ මාධ්‍යක් විදියටත්, ඇතැම්විට අදහසක් ප්‍රකාශ කිරීමේදීත් දෑත් විශාල කාර්යබාරයක් ඉෂ්ඨ කරනව. අද අපි ඔබේ දෑත් සුන්දරව තබා ගන්නෙ කොහොමද කියන එක ගැන කතා කරමු.

1. පිරිසිදුකම

දෑත් පිරිසිදු කිරීමේදී ඒ සඳහාම වූ හෑන්ඩ් වොශ් එකක් හෝ සැර නැති මෘදු සබන් වර්ගයක් පාවිච්චි කරන්න. බොහෝ වේලාවක් සේදීමට වඩා නිතර අත් සේදීමෙන් විෂබීජ අත්වල රැඳීම වලක්වා ගන්න පුළුවන්. උණු වතුරෙන් අත් සේදීමෙන් වලකින්න. උණු වතුරෙන් ඔබේ සමේ ස්වභාවික තෙල් තට්ටුව සේදී යන නිසා දෑත් වියලීමට ලක් වෙනව.

 

2. නියපොතු



නියපොතු ඔබේ දෑත් වල පිරිසිදුකම පෙන්වන ප්‍රධානම අංගයක්. දෑත් සෝදන විට මෘදු බ්‍රශ් එකකින් නියපොතු පිරිසිදු කරගන්න. නේල්පොලිෂ් ගෑවම නියපොතු අස්සෙ කුණු පේන්නෙ නෑ කියල හිතල නියපොතු පිරිසිදු කරන එක අමතක කරල ඉන්න එපා. නියපොතු නිසි ලෙස කපා මට්ටම් කරගන්න. කඩතොළු වෙච්ච නියපොතු දෑත් වලට එක් කරන්නෙ අවලස්සනක්. දෙහි ලෙල්ලක් අතුල්ලල එක අදටත්  වලංගුයි. කහට පැල්ලම් ඉවත් කරන වගේම දෙහි කියන්නෙ විශබීජ නාශකයක් නිසා නියපොතු වල බැඳුනු කුණු ඉවත් කරන්න හොඳම ක්‍රමයක්.

 

3. ස්ක්‍රබ් කරන්න



සතියකට වතාවක් දෑත් ස්ක්‍රබ් කරන්න. මැරුණු සම ඉවත් කරන එක දෑත් වල මෘදු සිනිදු බව රැකගන්න  අනිවාර්යයි. ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන් ස්ක්‍රබ් කීපයක් මේ.

 

මී පැණි, ඔලිව් තෙල් සහ සීනි

සීනි මේස හැඳි 4කට මී පැණි මේස හැන්දක්, ඔලිව් තෙල් මේස හැන්දක් මිශ්‍ර කර වැලමිටේ සිට පහලට ඇඟිලි තුඩු තෙක් දෑත් වල තවරන්න. මෘදුව කවාකාරව ඇඟිලි තුඩු වලින් පිරිමදිමින් ස්ක්‍රබ් කර සිසිල් ජලයෙන් සෝදා ගන්න.

 

සීනි, ලුණු, දෙහි, මී පැණි සහ පොල් තෙල්

සීනි මේස හැඳි 4ක්, ලුණු මේස හැඳි 4ක්, දෙහි යුශ තේ හැන්දක්, මී පැණි මේස හැඳි 2ක්, පොල් තෙල් මේස හැන්දක් ගෙන සියල්ල හොඳින් මිශ්‍ර කර පෙර පරිදිම දෑත් වල තවරා ස්ක්‍රබ් කරගන්න.

 

කෝපි කුඩු සහ පොල් තෙල්

කෝපි කුඩු මේස හැඳි 4කට පොල් තෙල් මේස හැඳි 2ක් එක් කර පෙර පරිදිම දෑත් වල තවරා ස්ක්‍රබ් කරගන්න.Top of Form

4. සමේ තෙතමනය


රාත්‍රී නින්දට පෙර දෑත් වල මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ආලේප කරන්න. ඇඟිලි තුඩු දක්වා ක්‍රීම් ආලේප කර මැණික් කටුවෙන් පහල දෑතම මෘදුව විනාඩි 5ක් පමණ පිරිමදින්න. දිනපතා මේ ලෙස කිරීමෙන් සමේ තෙතමනය රැක ගැන්න හැකි වනවා සේම සම්බාහනය මඟින් දෑත් මත සමට රුධිර සංසරණය හොඳින් සිදු වෙනවා. දෑත් වල ආලේප කිරීමට ක්‍රීම් එකක් තෝරා ගැනීමේදී ඔයිල් වර්ගයක් අඩංගු ක්‍රීම් එකක් තෝරා ගැනීමට සැලකිලිමත් වෙන්න. නිතරම සේදෙන නිසා සහ අප එදිනෙදා කරන කාර්යන් හීදී නිරන්තරයෙන් නොයෙක් දේවල් සමඟ ගැටෙන නිසා අපේ දෑත් වල සම ඉක්මණින්ම වියලීමට බලනව.

 

5. මොයිස්චරයිසර් සමඟ විටමින් ඊ


ඔබ භාවිතා කරන මොයිස්චරයිසර් ක්‍රීම් එකේ විටමින් ඊ අඩංගු වූවත් එයට අමතරව විටමින් ඊ කරලකින් ගන්න තෙල් ටිකක් එක් කර ආලේප කිරීම වඩාත්ම වියැලුනු සමක් ඇති අයෙකුට වඩාත් සුදුසුයි. හැකියාවක් ඇත්නම් නියපොතු වලට නින්දට පෙර විටමින් ඊ තෙල් ටිකක් ආලේප කිරීමෙන් දීප්තිමත් නිරෝගී නියපෙලක් ඔබට ලබාගන්න පුළුවන්.

 

6. සතියකට සැරයක් මාස්ක් එකක්

මුහුණට ෆේශල් එකක් කරගන්නව වගේ දෑත් වලට සතියකට වතාවක් මෙන්න මේ වගේ මාස්ක් එකක් හදල දාගන්න. සමේ තෙතමනය ආරක්ශා කරගන්න දිනපතා මොයිස්චරයිසර් ගෑවත් ඒ තෙතමනය තව දුරටත් පවත්වා ගෙන යන්න මේ සත්කාරය වැදගත්. ස්ක්‍රබ් ක්‍රීමෙන් පසු මාස්ක් එකක් දමා ගෙන එය සෝදා හැර දෑත් තෙත මාත්තු කර මොයිස්චරයිසර් ක්‍රීම් ආලේප කරන්න.

 

යෝගට් සහ මී පැණි

යෝගට් එකකට මී පැණි තේ හැන්දක් මිශ්‍ර කරල හොඳින් කලවම් කරගෙන දෑත් වල ආලේප කරන්න. විනාඩි 20ක් තියෙන්නට හැර සිසිල් ජලයෙන් සෝදා හරින්න.

 

අලිගැට පේර සහ බිත්තර කහමද

සූරාගත් අලි ගැට පේර මද කප් 1කට බිත්තර කහමදයක් එක් කර හොඳින් මිශ්‍ර කර දෑත් වල ආලේප කරන්න. විනාඩි 20ක් තබා පෙර පරිදිම සිසිල් ජලයෙන් සෝදා හරින්න.

 

තම්බාගත් අල සහ කිරි

අල ගෙඩි 2ක් තම්බා පොතු හැර පොඩි කරගන්න. එයට ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 3ක් එක් කර දෑත් වල තවරා විනාඩි 15ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න.

 

7. ආරක්ෂාව
අඩුම තරමින් කුස්සියේ වලන් පිඟන් හෝදන කොටවත් ග්ලව්ස් දෙකක් පාවිච්චි කරන්න. වලන් සේදීමට භාවිතා කරන සබන් වර්ග වල සැර අධිකයි. දෑත් වියලීමට ප්‍රධානම හේතුවක් තමා මේ භාවිතා කරන සබන් වර්ග. රෙදි සෝදන්න වොශින් මැශින් හැමෝටම නෑනෙ. ග්ලව්ස් දාගෙන රෙදි සෝදන්නත් පුළුවන් කමක් නෑ අපි පුරුදු වෙලා ඉන්න හැටියට. ඒකට තියෙන එකම විසඳුම රෙදි සෝදල ඉවර වුන හැටියෙ අත් දෙක හොඳට සෝදල තෙතමාත්තු කරන් මොයිස්චරයිසර් ටිකක් ගාගන්න එක.

එළි පහලියෙ නිතර ගැවසෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න. බොහෝ වෙලාවට අපේ දෑත් නිරාවරණයි. හිරු කිරණින් සමට වෙන හානිය අවම කරගන්න මෙයින් හැකියාව ලැබෙනව

 

2 comments:

දෑත් සුන්දරව තබා ගනිමු.........

කෙනෙකුව පළමු වර හමුවීමේදී අතට අත දෙන්නත් , ඔබේ ආදරය , කරුණාව පෑමේ මාධ්‍යක් විදියටත් , ඇතැම්විට අදහසක් ප්‍රකාශ කිරීමේදීත් දෑත් විශාල කාර්...